දෙවිඳුන්ගේ ආදරය හා බලය දිනපතා අත්දැකය හැකි සරල​​ විදි !

ඔබ දෙවිඳුන්ගේ ආදරය හා බලය කවදාවත් අත්දැක නොමැති නම් ඔබටත් මෙම ලිපිය​ කියව​න්න ආරාධනා !




කාරුණික නිවේදනයයි !
  • මෙම ලිපිය Shalom ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.
  • මෙම ලිපිය ඉතාමත් දිග බැවින් ඔබට නිවාඩු වෙලාවක කියව​න්න. 
  • රතු අකුරින් ඇති වචන හරහා වැඩි තොරතුරු ලබාගත හැකි ස්ථාන වලට සම්බන්ධ කර තිබේ. උදාහරණයක් : " මෙහි " යන ස්ථාන ඔබන විට එයට අදාළ ලිපිය/වීඩියෝව/පොත වෙත රැගෙන යනු ලබයි

මේ ලිපිය ඉතාමත් දිගය. එයට සමාවෙන්න. මා මෙතෙක් කල් ලබපු අත්දැකීම්, දැනට ශුද්ධාත්ම දීමනා තිබෙන පුද්ගලයින් (දිවැසිවරුන්, ජේසුගේ බලයෙන් යකුන් දුරු කරන සහ ලෙඩුන් සුවකරන පියතුමන්ලා හා ගිහියන් ) ගෙන්, සාන්තුවරුන්ගේ ජීවිත වලින් ඉගෙනගත් දේවල් මෙහි ඉතාමත් කෙටියෙන් සඳහන් කරමි.


1858 වර්ෂයේ පෙබරවාරි 18 දින ලූර්දු දේවමාතාවන් ශුද්ධ වූ බර්නදෙත් තුමියට මෙසේ පැවසුවාය.
“ මම ඔබට පොරොන්දු වන්නේ මෙලොව සතුට නොව ඊළඟ ලෝකයේ සතුටයි. 
වැඩිදුර විස්තර සඳහා මෙම පොත කියවන්න : දුක් වේදනා පල නෙළමු පොත

දිනපතා ජපමාලය කියන්න ඔබටත් ආරාධනා !

ගේබ්‍රියෙල් අමෝර්ත් පියතුමා ඉතා ප්‍රසිද්ධියක් උසුලන අතර වතිකානුවේ ප්‍රධාන යකුන් දුරු කරන්නා වේ. ඔහු මෙසේ ලියයි. දිනක් මගේ සගයකු යකුන් දුරු කරන අවස්ථාවකදී යක්ෂයා පැවසූ දේ අසා සිටියේය.
“ සෑම නමෝ මරිය ක්ම මගේ හිසට පහරක් වැනිය. ජපමාලය කොතරම් බලවත්ද කියා ක්‍රිස්තියානීන් දැන සිටියා නම් එය මගේ අවසානයයි. ”
වැඩිදුර විස්තර සඳහා මෙම පොත කියවන්න : ශුද්ධ වු ජපමාලය තුළින් අත්ම ගැළවීම පොත 

අපේ ආදි මවුපියන් පාපයට වැටුනු පසු දෙවියන් වහන්සේ යක්ෂයාට මෙසේ පැවසීය, "තා (යක්ෂයා) සහ ස්ත්‍රිය (දේවමාතාවන්) අතර ද තගේ වංශය සහ ඇගේ වංශය (ඇගේ වංශය 'her seed' : ජේසුස් වහන්සේ) අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.” ( උත්පත්ති 3:15 )

මාගේ පෞද්ගලික අත්දැකීම්

"විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මා ජපමාලය කියන්න යොමුවුන එක් හේතුවක් වූයේ නො කිතුනුවෝ ජපමාලය කියා පොරොන්දු 15 ව අත්දැකපු නිසාය. මා ඉස්සර පොරොන්දු බලන් තමා යාච්ඥා කරේ. නිවැරදිව යාච්ඥා කරන ආකාරය දැනගත්තේ පසුවය. නමුත් ඒ කාලෙත් මා මේ පොරොන්දු 15 අත්දැක්කා. ජපමාලය නිවැරදිව භක්තියෙන් උච්චාරණය කිරීම මගින් අපි මරිය තුමියට ජේසුට අපේ ආදරය සහ ගෞරවය පුද කරනවා.

මට අවුරුදු 10 කට වැඩි කාලයක (2013) සිට ජපමාලය පොරොන්දු 15 දිනපතා අත්දකිනවා. දිනපතා දෙවිඳුන්ගේ බලමහිමය, මරියතුමියගේ ආදරය හා රැකවරණය අත්දකින වන සිදුවීම් මතක තබා ගැනීමට මා හට දින පොත් ගොඩක සඳහන් කර තැබීමට සිදු වී තිබෙනවා. දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. මරියතුමියට ගොඩක් ආදරෙයි."

සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය සඳහාත්, දේව රාජ්‍යය මෙලොවේ පතළ කිරීමටත්, ස්වර්ගීය සම්පත් මෙලොවේ සිට රැස් කිරීමටත් සහ මරණින් පසු ස්වර්ග රාජ්‍යය කෙදිනක උදාකරගැනීමට අපි උත්සාහ කරමු. මේ ඉහත කියූ සියලු කරුණු කිරීමට දෙවියන් වහන්සේගේ වරප්‍රසාද අවශ්‍ය වේ. දිනපතා භක්තියෙන් ජපමාල උච්චාරණය කිරීම මගින් මේ සියලු වරප්‍රසාද අප සැමට ලැබේ. මෙය අප සැමගේ අත්දැකීමයි. ඔබ ජපමාලය කියා ලැබුන අත්දැකීම අප හා සමග බෙදාගන්න ආරාධනා !

2019-02-20 දින දේව දයාවේ පාද නමස්කාරය අතරතුරේ දී ජේසුස් වහන්සේ මාගේ ජීවිතය බේරාගත් මොහොත මෙහි සඳහන් ය. දේව දයාවේ පාදනමස්කාරය කියන්න ඔබටත් ආරාධනා !

2014-12-15 දින දෙවියන් වහන්සේ මා හට අහසේ හදවතක් දිස් කල​ මොහොත. දෙවියන් වහන්සේ මා හට අහස දෙස බලා යමක් ඉල්ලන්න කී විට. මා "හදවතක්" යයි අවසානයේ පිළිතුරු දුනි. කළු වළාකුළු ඉවතට ගොස් අවසානයේ හදවතක් දිස්වුන මොහොත මෙහි සඳහන් ය.

"දිනපතා ජපමාලය කියන මට දේව මාතාවන් දුන් පොරොන්දු 15 අත්දැකිය හැක. මා ආදරේ කරන අය දාල ගියත් ජේසු මරිය තුමිය මාව කිසිදා අත් නොහරියේය." 


ගරු නිලූෂන් පියතුමා

මා අතින් පටිගත කළ නිලූෂන් පියතුමන් හරහා දෙවිඳුන් සිදුකල මහා ප්‍රාතිහාර්යයන් වලින් බිඳක් මෙහි සඳහන් වේ. දෙවිඳුන් සමඟ ගමනක් යන අන් අයටත් කියාදෙන පියතුමෙක්. ජේසුස් වහන්සේ කියා දුන් දේ වචනයට පමණක් සීමා නොකරන එය ක්‍රියාවට නංවන පියතුමෙක්.
මම, දෙවිඳුන්ගේ බලය අත්දුටු හා මාගේ අතින් පටිගත කළ සිද්ධීන් මෙහි සඳහන් ය. දෙවිඳුන්ට සේවය කිරීමට මුළු ජීවිතයම කැප කළ නිලූෂන් පියතුමාට සුළු හෝ උපකාරයක් කිරීමට මා වැනි නුසුදුසු පවුකාර කාලකන්නියෙක්ව කෙටි කලකට (2018 ඔක්තෝම්බර් 26 සිට අද වෙන තුරු ) කැඳවීම ගැන ජේසුට ස්තූති කරන අතර, එමගින් මා හට ලැබුණු මිල කල නොහැකි ආශිර්වාදයන්ට හා දෙවිඳුන්ගේ බලය අත්දැක, ඒ සියසින් දුටු සිද්ධීන් පටිගත කිරීමට අවස්ථාව භාග්‍ය ලබා දුන් දෙවියන් වහන්සේට සදා ස්තුති ප්‍රශංසා කරමි !
ජේසුගේ අනාවරණයන් හා ජේසුගේ ශ්‍රී රුධිරයේ බලයෙන් සුව වුනු ලෙඩ රෝග, පිළිකාවන් හා බොහෝ එවැනි අත්දැකීම් පියතුමාගේ Fountain of Grace YouTube Channel එකේ Playlist සහ Fountain of Grace Facebook පිටුවේ සඳහන් වේ.
ජීවමාන වූ ජේසුගේ ශ්‍රී නාමයේ බලයෙන් අශුද්ධාත්මයන්, බලවේගයන් දුරු කළ මෙවැනි සිද්ධීන් බොහෝ තිබුනත් ඒවා ප්‍රසිද්ධියට පත්කිරීමට පියතුමාගේ අවසර නොමැති බැවින් මම නිහඬ වෙමි. නමුත් මා හට මුණ ගැසෙන දෙවිදුන්ගේ බලය අත්නොදැකපු හෝ නොදන්නවා අයට එවැනි සිද්ධීන් පෙන්වීමට මම පසුබට නොවෙමි. මා සියැසින් දුටු විශේෂ සිද්ධීන් පහත​ සඳහන් ය. 2019-02-10 දින පියතුමා හූනියමක් පුච්චා ඉවත් කිරීමට යාච්ඥා කරන්න පටන් ගත් අවස්ථාවේ (0:50 වේලාව) ගින්දර ටෝනාඩෝවක් වගේ කැරකෙනවා. වැඩි විස්තර මෙහි YouTube Description එකේ සඳහන් වේ.
2019-12-03 දින පියතුමා අනාගතයේදී වෛද්‍යවරයෙක් වීමට සිටින සහෝදරියකගෙන් අශුද්ධාත්මයක් (3:10 වේලාව) පලවා හැරීම. වැඩි විස්තර මෙහි සඳහන් වේ.
2019-04-02 දින පියතුමා හරහා ජේසු දුන්න අනාවරණය (6:15 සිට) ඉෂ්ට වූ පසු පැමිණ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කල දවස. එය පටිගත කළ පසු මා හට සිදු වූ අනතුරු ඇතුළත් විස්තර මෙහි YouTube Description එකේ සඳහන් වේ. ජේසුස් වහන්සේ මොළේ පිළිකාවක් (4 වෙනි ආදීර) සුව කිරීම.
2020-09-02 දින පෙරියමුල්ල තුෂාරයේ අප ස්වාමිදුවගේ දෙව් මැදුරේ දෙවියන් වහන්සේගේ සුවය ( 15:06 සිට ) හා බලය ( 26:40 සිට ) ප්‍රකාශ කළ අවස්ථාවන් 2 ඇතුළත් වීඩියෝව. වැඩි විස්තර මෙහි YouTube Description එකේ සඳහන් වේ. මෙවැනි සිද්ධීන් පටිගත කළ පසු මා හට සිදුවූ කරදර එමටය. පසුව එම විපතීන් වලින් බේරීමට මරියතුමිය ලබාදුන් සියලුම වරප්‍රසාදයන්ට, ආරක්ෂාවට, රැකවරණයට හා මඟපෙන්වීමට මරියතුමියට ගොඩාක් ස්තුතියි! පාන්දර යාච්ඥාවේ බලයත්, දිනපතා ශුද්ධ වූ ජපමාලය කියන විට අත්දකින බලයත්, දිනපතා සහභාගීවන දිව්‍ය පූජාවේ බලයත්, දිනපතා සවස 3 ට කරන දේව දයාවේ පාදනමස්කාරයේ බලයත්, පාපොච්චාරණ සක්ක්‍රමේන්තුවේ බලයත් කියාදුන් මාගේ සියලුම අධ්‍යාත්මික ගුරුතුමන්ලාටත් ගොඩක් ස්තුතියි! මරියතුමිය නැත්තං මේ වන විට මම අඩි 7ක් පොළොවෙන් යට...

මෙවැනි ජේසුගේ ප්‍රාතිහාර්යයෙන් ලොව පුරා සිදුවූ නමුත් බොහෝවිට ඒවා සමාජගත කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙයි. මෙතෙක් කල් මා සතුව ඇති ජේසුගේ ප්‍රාතිහාර ලැයිස්තුව මෙහි සඳහන් ය.

සටහන: මෙම වීඩියෝ පටිගත කළ මා. 


දේව මාතාවන් ශුද්ධවූ ජපමාලය උච්චාරණය කරන අය සඳහා ශුද්ධ වූ දොමිනික්තුමා මගින් දී ඇති පොරොන්දු

  1. ජපමාලය විශ්වාසවන්තව යදින අය, අනෙක් වරප‍්‍රසාදයන්ට හේතුවන්ත වන්නාහ.
  2. ජපමාලය නිති පතා යදින්නන්ට, මම විශේෂ රැකවරණය හා වරප‍්‍රසාද පොරොන්දු වෙමි. 
  3. සාතන්ට විරුද්ධව කෙරෙන සටනේ දී, ජපමාලය කිතුනු ආයුධයක් වන්නේය.
  4. එමගින් ගුණධර්ම හා යහපත් ක‍්‍රියා වඩන්නේය. දෙවිඳුන්ගේ අසීමිත කරුණාවට පංගුකරුවන් වන්නාහ.ලෞකිකත්වය මනුෂ්‍ය හදවත් වලින් දුරුකර, සදා දේව ජීවිතයට ඇළුම් කරවන්නෝය. 
  5. ජපමාලයට විශ්වාසවන්ත වීමට ඇළුම් වන්නා විනාශයට පත් නොවන්නේය.
  6. ජපමාලයට විශ්වාසවන්ත වන්නා, හදිසි මරණයකට පත් වූවත්, විනාශ මුඛයට පත් නොවී, සදාකාල ගැළවීම ලබා ගන්නේය.
  7. ජපමාලයේ භක්තිය ඇතිව ජීවත් වන්නාට, සිය මරණයට පෙර දේව ප‍්‍රසාද නිධාන ලැබ ගන්නට අවස්ථාව ලැබෙන්නේය.
  8. ජපමාලයට විශ්වාසීව දිවි ගෙවන්නා ජීවිතයේදීත් මරණයේදීත් වරප‍්‍රසාද පිරි, ජීවනාලෝකය ලැබ මරණයෙන් පසු සුරදූතයන් සමග ස්වර්ගික දිවියට පංගුකාර කරන්නෙමි.
  9. ජපමාලයට විශ්වාසවන්ත වන අය, ශුද්ධිකාග්නි ස්ථානයෙන් මම මුදවා ගන්නෙමි.
  10. විශ්වාසය ජපමාලය යදින්නා, ස්වර්ගයේ උසස් තැනකට හිමිකම් ලබන්නෙක් වේ.
  11. ජපමාලය අයැද මගෙන් යමක් ඉල්ලන්නා, ඒ සැමදේ ලබා ගන්නේය.
  12. ජපමාලය ව්‍යාප්ත කරන්නා මගෙන් ඉල්ලන සැමදේ ලබා ගන්නේය.
  13. ජීවිතයේදීත් මරණ මොහොතේදීත් සගපුර සකල සුරදූතයන්ගේ රැකවරණය, ඔවුන්ට ලබා දෙන ලෙස මා දිව්‍ය පුත‍්‍රයාණන්ගෙන් වරය ලබා ඇත.
  14. ජපමාලය යදින අය මාගේ දරුවෝය. මා පුත් ජේසු තුමාගේ සහෝදර සහෝදරියෝ ය
  15. ජපමාල භක්තිය, ස්වර්ග රාජ්‍යයට හිමිකරුවෙකු වීමේ මඟකි.

🔥 ශුද්ධ වූ ජපමාලයේ ප්‍රයෝජන 

1. ශුද්ධ වූ ජපමාලය මගින් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පරිපූරණ දැනුම ක්‍රම ක්‍රමයෙන් ලැබීම. 
2. ශුද්ධ වූ ජපමාලය මගින් ආත්මය පිවිතුරු වන අතර පාපයන් සෝදා හරිනු ලැබිම.
3. ශුද්ධ වු ජපමාලය මගින් අපගේ සියලු සතුරන්ට එරෙහිව විජයක්ග්‍රහණය ලැබීම.
4. ශුද්ධ වු ජපමාලය මගින් දේව ගුණ ධර්මයන් ක්‍රියාවට නැන්වීම පහසු කරනු ලැබීම. 
5. ශුද්ධ වු ජපමාලය මගින් දෙවි සමිඳුන්ගේ ප්‍රේමයේ ගිත්ත මත පිහිටු වීම.
6. ශුද්ධ වු ජපමාලය මගින් දේව වරප්‍රසාදයන් හා ආශිර්වාදයන් වැඩි වර්ධනය කරනු ලැබීම. 
7. ශුද්ධ වු ජපමාලය මගින් දෙවි සමිඳුන්ට හා අප අසල්වැසි මනුෂ්‍ය වර්ගයාට අප පියවීමට ඇති සියළු ණය තුරුස් ගෙවිමට අවශ්‍ය දෑ ලැබෙනු ඇත. තවද අවසාන වශයෙන් එමගින් සියලු බලැති දෙවිමහොත්තමයාණන්ගේ සියලු ආකාරයේ දේව ප්‍රසාදයන් ගලා එනු ඇත.

🔥 ශුද්ධ වු ජපමාලයේ ආශිර්වාදයන් 

1. පව්කරුවන්ට සමාව ලැබීම.
2. පිපාසිත ආත්මයන්ට ආත්මීය සංතර්පනය ලැබීම.
3. නපුරාගේ මල පත්වලට හසු වුවට බැඳීම් වලින් නිදහස.
4. කදුළු සලන්නන්ට ප්‍රීතිය ලැබීම.
5. දුක් පරීක්ෂාවට ලක්වන්නන්ට ආත්මීය සාමය ලැබීම.
6. දුගී දිළින්දන්ට සහනය ඇති විම.
7. පැවදිවරුන්ට නැවුම් ආත්මීය ප්‍රබොධයක් හිමි වීම.
8. නොදනුවත්කමින් සිටින අයට දැනුවත් භාවය ඇති කර දීම.
9. මෙලොව ජීවත් වන්නන් පුහු ආටෝපයෙන් මිදීමට ඉඩ ප්‍රස්තාව සැලසවිම.
10. මෙලොව හැර ගිය පිඩා විඳින ආත්මයන්ගේ පිඩාවන් හීන විමට අවස්ථා

සිංහල උපුටා ගැනීම - "සුරලොව රන් මල්දම" ග්‍රන්‍ථයෙන්

#Ephphatha #Saints #Rosary
Benefits of the Rosary and The Rosary Blessings

නමෝ මරිය යැදුමේ බල මහිමය 

.... දිනක් ශුද්ධ වු මැක්ටයිල්ඩ් (St. Mechtilde) මුනිවරිය යාච්ඤා කරමින් හා භාග්‍යවත් අම්මා කෙරෙහි තමාට ඇති ආදරය පෙර කළාට වඩා හොඳින් ප්‍රකාශ කළ හැකි ආකාරයක් ගැන සිතීමට උත්සාහ කරමින් සිටියදී, ඇය ධ්‍යානපරවසම් වූවාය. (එනම්, දේව මාතාවන්ගේ ස්වර්ගීක අනාවරණයට විවෘත විය)

අප ස්වාමි දූ ඇගේ ළය මත දීප්තිමත් රන් අකුරින් දේවදූත ආචාරය ඇතිව ඇයට දර්ශනය වී මෙසේ කීවාය, “මගේ දියණිය, කිසිවෙකුට ශුද්ධ වු ත්‍රිත්වය විසින් මා හට එවන ලද ආචාරය පැවසීමට වඩා මා සතුටු කළ නොහැකි බව ඔබ දැනගන්නවාට මම ප්‍රිය වෙමි. මෙයින් මා දෙවියන් වහන්සේගේ මව යන ගෞරවය සඳහා උන් වහන්සේ මා ඔසවා තැබූ සේක.”

“ ‘නමෝ’ (ආවේ) යන වචනයෙන් (ඊව් යන නම, ඒව) මා ඉගෙනගත්තා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අසීමිත බලයෙන් සියලු පාපවලින් සහ එයින් පළමු ස්ත්‍රියට යටත් වූ දුක්ඛිත තත්වයෙන් මා ආරක්ෂා කළ බැව්.”

“ ‘ආලෝකයේ ස්වාමි දුව’ යන අර්ථය ඇති ‘මරිය’ යන නාමයෙන් පෙන්වන්නේ දෙවියන් වහන්සේ මට අහස හා පොළොව ආලෝකමත් කිරීම සඳහා දීප්තිමත් තාරකාවක් මෙන් මා ප්‍රඥාවෙන් හා ආලෝකයෙන් පුරවා ඇති බවයි.”

“ ‘ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනී’ යන වචනවලින් ශුද්ධාත්මයාණන් වහන්සේ මා කෙරෙහි බොහෝ වරප්‍රසාද ලබා දී ඇති බවත්, මැදිහත්කාරිය (මීඩියේට්‍රික්ස් යනු සකල වරප්‍රසාදයේ මැදිහත්කාරිය) ලෙස මා හරහා අයදින අයට මෙම වරප්‍රසාද බහුල ලෙස ලබා දීමට හැකියාව ඇති බවත් මට මතක් කර දේ.”

“ ‘ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය’ යන වදන් මිනිසුන් පවසන විට සදාකාලික වචනයාණන් මගේ කුස තුළ මාන්ශගත වූ විට මා ලැබූ ඒ කියා විස්තර කළ නොහැකි ආනන්දය ඔවුන් අලුත් කරයි.”

“ ‘ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය’ කියා ඔබ මට පැවසන විට, ප්‍රීතියේ උච්ඡස්ථානයට මා එසවූ සියළු බලැති දෙවිදුන්ගේ දේව දයාව මම ප්‍රශංසා කරමි.”

“ ‘ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය’ යන වචනවලින් මාගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයන්ව ගලවා ගැනීම ගැන වන්දනාවට හා මහිමයට පත් කර සිටිනු දැක මුලු ස්වර්ගයම මා සමඟ ප්‍රීති වේ.

ශුද්ධ වු ග්‍රෙගරි ලුවිස් ද මොන්ෆර්ට් තුමන් විසින් රචිත 'ජපමාලයේ රහස' නම් ග්‍රන්ථයේ 'දාහත් වන රෝස කුසුම-සුන්දරත්වය' පරිච්ඡේදයෙන් උපුටනයකි.


දේව මාතාවන්

දේව මාතාවන් යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට ජනිත කිරීම සඳහා මහිමෝත්තම දෙවි සමිඳාණන් විසින් වෙසෙසින් තෝරා ගන්නා ලද පිවිතුරු කාන්තාවයි. ලොවෙහි උපන් කාන්තාවන් අතරින් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ප්‍රසාදයට, ගෞරවයට පාත්‍ර වූ තවත් කාන්තාවක් නැතැයි කිවහොත් එය නිවැරදිය. ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණු මරියෝත්තමාව තරම් ආශිර්වාදලත් කාන්තාවක් නැතැයි කියන්නේ ‘දේව පුත්‍රයාගේ මව’ වීම නිසාය. ලොවෙහි අසිරිමත් සිද්ධින් රාශියක් සිදු කරමින්, දර්ශනය වෙමින්, බොහෝ ජනතාව තමන්ගේ පව් වලින් හැරි ජේසු වෙතට කැඳ වූ උත්තමාවිය එතුමියයි. 

1858 වර්ෂයේ දී ප්‍රංශයේ ලූර්දු නුවර එතුමිය දර්ශනය වූ ස්ථානයේ මතු වූ 'ආශිර්වාදලත් ජල උල්පත’ අදත් නොසිඳී පවතිමින් ලොව දසතින් පැමිණෙන ජනතාවට සුවය, සහනය, සතුට දෙන අයුරු විස්මපත් විය යුතු වෙයි. ලූර්දුවේ දී දේවමාතාවන් දර්ශනය වුනු බර්නදෙත් තුමිය ද අද සාන්තුවරියකි. එතුමියගේ නොදිරූ සිරුරද අදත් ජීවමාන ස්වරූපයෙන් ප්‍රංශයේ කන්‍යාරාමයක තැන්පත් කර ඇත. මෙයාකාරයෙන් බොහෝ රටවල විවිධ නගර ගම්වල දේව මාතාවන් දර්ශනය වීම් වාර්තා වී ඇත. මෙවන් අසිරියක් අත්දුටු වෙනත් කාන්තාවක් ලොව මෙතෙක් සිට නැති අතර, ස්වර්ගයේ සිටිමින් එදා මෙදා තුර අපට ආසිරි වැසි වස්වන්නේ ය.

එසේම “පුදුම පදක්කම” ලෙසින් කතෝලික සැදැහැවතුන් මහත් භක්තියකින් ගෙලවටා පළඳින දේව මාතාවන් ශු. කැතරින් ලැබොරේ නමැති පැවිදි සොහොයුරිය ට ප්‍රකාශ කළ පදක්කම අද ලොව පුරා “දේවාසිරි” බහුලව වස්වන්නක් බවට පත්ව ඇත. එම සොහොයුරිය අද ශුද්ධවන්තියක් ලෙසින් ලොව පුරා කතෝලිකයන් අතර ගෞරවාදරයට පාත්‍රව සිටී. එතුමියගේ නොදිරූ දේහය “ප්‍රංශයේ, රූ ද බක්” නම් ස්ථානයේ දෙව්මැදුරේ අදත් දැකගන්නට ඇත. 

“දේව මාතාවන්” වීමේ උත්කෘෂ්ට වරම ලැබූ මරියෝත්තමාවෝ විශ්වය පුරා ගරු බුහුමන් ලබන්නාහ. ශුද්ධ වූ දේශයේ එතුමිය ජීවත් වූ පරිසරයේ ස්වභාවය දැක බලා ගැනීමට අපට අදත් පිළිවන. ජේසු සමිඳාණන් පා පහස ලද ශුද්ධ වූ දේශය “වරප්‍රසාදයේ දේශය” ක් ලෙසින් සුප්‍රකට ය. ජේසුස් වහන්සේ සංචාරය කළ ප්‍රදේශ සියැසින් දැක බලා ගැනීමේ වරම අපට උරුම කර දී ඇත. ජොර්දාන් නදිය, කල්වාරිය, කානාන් නුවර විවාහ මංගල්‍යය, අපෝස්තුළුවරුන් ජේසුස් වහන්සේ සමඟ ගමන් කළ ස්ථාන බොහොමයක් අද දේවස්ථාන ආකාරයෙන් සංරක්ෂණය කර ඇත. බෙත්ලෙහෙම ද අද දේවස්ථානය ජේසු උපත සිදුවූ ස්ථානය වන්දනාමාන කිරීමට සැඳැහැ පිරිස් ඇදී එන්නේ වැල නොකැඩීය.

මරියෝත්තමාවන් ගේ ගුණ දහම් අප ජීවිතවලට කාවද්දා ගැනීමට අප දෙවියන් වහන්සේගේ වරප්‍රසාද අයදිය යුතුය. දේව අණට අවනත වීම, බැහැපත්කම, ඉවසීම, අනුන්ගේ දුකේ දී සංවේදී වීම, දරා ගැනීමේ ශක්තිය මරියෝත්තමාවගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි අති උත්කෘෂ්ට දෙයින් සමහරකි. මරියෝත්තමාවනි! ඔබවහන්සේගේ ජීවිතයේ උතුම් ගුණාංග අප ජීවිතවලට යා කර ගැනීමට අපට පිහිට වුව මැනව. ඔබතුමිය ස්වර්ගයේ වැඩ වසමින් අපට තිළිණ කරන මහඟු වරප්‍රසාදවලට අපි තුති පුදමු! මරියෝත්තමාවන් අනුව යමින් බැහැපත් සිතින් සඟලොව දිනා ගැනීමට අපි ජීවිත කාලය පුරාවට අවශ්‍ය දේව ආසිරි ලබා දුන මැනව අම්මේ. 


කතෝලිකයන් හට ඇති ප්‍රබලම අධ්‍යාත්මික ආයුධයන් 

ජේසු සහ දේව මාතාවන් අප සැමගෙන් ඉල්ලා සිටින අති විශේෂ දේවල්.

  1. ශුද්ධ වූ දිව්‍ය පූජාව
  2. ශුද්ධ වූ ජපමාලය 
  3. පාපොච්චාරණය 
  4. දයාවේ ක්‍රියා, උපවාසය හා වෙනත් දෑ
  5. දේව වචනය  
  6. දයාවේ හෝරාව
  7. ශුද්ධ වූ පැය
  8. ජේසුගේ දිව්‍ය හර්දයට භක්ති අභ්‍යාසය.
  9. දේවමාතාවන්ගේ නිර්මල හර්දයට භක්ති අභ්‍යාසය 
  10. අභිරහස්මය රෝස කුසුමේ භක්ති අභ්‍යාසය  
  11. පුදුම පදක්කම 
  12. කාර්මෙල් බෙන්තින්ඤය

1. ශුද්ධ වූ දිව්‍ය පූජාව 

හැකි නම් දිනපතා භක්තියෙන්, සුදුසු අන්දමින් (මරණීය පාපයන්ගෙන් වැලකී) සහභාගී වන්න උත්සාහ කරන්න.

"එහෙයින් නුසුදුසු ලෙස සමිඳාණන් වහන්සේගේ මේ රොටි වළඳන, මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුව ද, එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිඳාණන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධ ව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේ ය. එබැවින් මේ රොටි වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය. සමිඳාණන් වහන්සේගේ ශරීරය යන්නෙහි තේරුම නොවිමසා, රොටි වළඳන, කුසලානෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමා ම වරදකරුවෙක් කරගන්නේ ය. මේ නිසා ඔබ අතර බොහෝ දෙනෙක් දුබල ව, රෝගී ව සිටිති. සමහර දෙනෙක් මරණයට ගොදුරු වී සිටිති. එහෙත් අපි අප ම සෝදිසි කර ගනිමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත. එහෙත් සමිඳාණන් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීමෙන්, අප හික්මවනු ලබන්නේ ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ය." (1 කොරින්ති 11:27‭-‬32)

ඔබත් දිනපතා ජපමාලය උච්චාරණය කිරීමට පටන් ගත් විට; කෙදිනක හෝ මරියතුමිය ඔබව දිනපතා දිව්‍ය පූජාවට ඔබව ඇදගෙන යනු ඇත. එය මගේ පෞද්ගලික අත්දැකීමයි.

දිව්‍ය පූජාවේ බල මහිමය පොත කියවන්න. ඉන් එක පාඨයක් මා උපුටා දක්වන්නෙමි. 'ඔබ දිව්‍ය පූජාවට සහභාගි වන්නා වු එක් දිනයක් ඔබට දින දහසක වටිනාකමක් ගෙන දෙන්නා වූ බව මතක තබාගත යුතුය. දිව්‍ය පූජාවේ වටිනාකම හා සසඳා බලන කළ අපගේ දිනයක, සතියක, වසරක ශ්‍රමය හෝ කළ කාර්යයන් වල කිසිදු වටිනාකමක් නොමැත.'

1380 වර්ෂයේ දී ජේසු සමිදාණන් තම ප්‍රිය දියණිය වූ සියෙනා වේ ශුද්ධ වූ කැතරින් මුනිවරියට විශේෂ අනාවරණයක් මගින් සක්‍රමේන්තුමය ලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම හා ආත්මික ලෙස සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ඇති ආනුභාසම්පන්න බව පෙන්වා දුනි. අවසානයේ ජේසු ප්‍රකාශ කර සිටියේ උන්වහන්සේට මේ ක්‍රම දෙකම ප්‍රසන්න බවය.

ශුද්ධ වූ කැතරින් තුමියට වර්ෂ 1380 දී ජේසුස් වහන්සේ විසින් ලබා දුන් පෞද්ගලික අත්දැකීමකි. ශ්‍රී වණ කැළැල් ලාබී සාන්තුවරියක්‌ ලෙස ද අබිරහස්මය ලෙස ස්වාමීන් වහන්සේ විශේෂ අධ්‍යාත්මික තත්ත්වයකට ඔසවන ලද ශුද්ධවන්තියෙකි. සියෙනා වේ ශුද්ධ වූ කැතරින් තුමිය බොහෝවිට ආත්මික ලෙස සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට යොමුවූවත් ඇයට එහි ඵලදායක බව පිළිබඳව ගැටලුවක් මතුවිනි. ඒ අවස්ථාවේ දී ස්වාමීන් වහන්සේම ඇයට
 දර්ශනය වුනේ උන් වහන්සේගේ අත්දෙකෙහි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාදීමට යොදාගන්නා සිබෝරියම් කරඬු දෙකක් සමග ය. උන්වහන්සේ ඇයට ප්‍රකාශ කළේ මෙම රත්තරන් පැහැති කරඬුවේත් රිදී පැහැති කරඬුවේත් ඇය ලබාගත් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සංඛ්‍යාව අඩංගු බවයි. රත්තරන් පැහැති කරඬුවේ එතුමිය සක්‍රමේන්තුමය ලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීම් අඩංගු වී තිබුණු අතර රිදී පැහැති කරඬුවේ එතුමිය ආත්මික ලෙස අප ස්වාමීන් වහන්සේව ලබාගත් සංඛ්‍යාව අඩංගු වී තිබුණු බවයි. ජේසු ප්‍රකාශ කර සිටියේ උන්වහන්සේට මේ ක්‍රම දෙකම ප්‍රසන්න බවය. සක්‍රමේන්තුමය ලෙස මෙන්ම ආත්මික ලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම අප ජීවිත වලට ඉමහත් ලෙස වරප්‍රසාද ගෙන එයි.

ඒ හරහා උන්වහන්සේ අපිට පැහැදිලි කළේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ භෞතික වශයෙන් ලබා ගන්නා සේම දිව්‍ය පූජා යාගයට සහභාගි වීමට නොහැකි අවස්ථා වලදී උන්වහන්සේව ආත්මික ආකාරයෙන් ලබා ගැනීම වැදගත් බවයි.

ඔබට දිව්‍ය පූජාවකට යාමට නොහැකි ම නම් සජීවී දිව්‍ය පූජාවකට සහභාගිවී ( Live Church Services ) ආධ්‍යාත්මිකව ජේසුව ලැබිය හැක. අපේ වේලාවෙන් උදේ 11.30 සිට රාත්‍රී 12 දක්වා දිව්‍ය පූජාවන් තිබේ. ඔබට පහසු වෙලාවකට සහභාගි විය හැක.

2. ශුද්ධ වූ ජපමාලය 

දිනපතා අභිරහස් 15 මෙනෙහි කරමින් ශුද්ධ වූ ජපමාලය භක්‍තියෙන් උච්චාරණය කරන්න. 

මරියාවන්ගේ ගීතාවලිය

මරියාවන්ගේ ගීතාවලිය යනු 1214 වර්ෂයේ දී දේව මාතාවන් විසින් ශුද්ධ වු දොමිනික් තුමාට පොරොන්දු 15 වක් සමග දෙන ලද මුල් ජපමාලයයි.

දේව දූත ආචාරය යනු ඉතා කෙටි යාච්ඤාවකි. එය මුල් නමෝ මරිය යාච්ඤාවයි. පසු කාලයේ ශුද්ධ වු සභාව විසින් ඉතිරි කොටස එකතු කර ඇත. ඔබට දැන් තිබෙන ජපමාලය කියන්න කාලය නොමැතිනම්; දේව මාතාවන් දුන්න මුල් ජපමාලය කියන්න ආරාධනා. 

මුල් ජපමාලය කියන විදිහ ...

ජපමාල පන්තියකට නමෝ මරිය 10 යයි. පාතිමා යාච්ඤාව සෑම ජපමාල පන්තියක් අවසානයේ කියන්න. සෑම ජපමාල පන්තියකට අදාළ අභිරහස මෙනෙහි කරන්න. අභිරහස් 15 ව මෙනෙහි කරමින් දේව දූත ආචාරය 150 වතාවක් කියන්න. මුල් ජපමාලය කියන්න විනාඩි 45 ක් පමණ කාලයක් ගත වේ. දිනපතා භක්තියෙන් උච්චාරණය කරන්න. 

මුල් නමෝ මරිය යාච්ඤාව
”නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය.”

1917 වර්ෂයේ දී මරියතුමිය පාතිමා යාච්ඤාව සෑම ජපමාල පන්තියක් අවසානයේ කියන්න ලුසියා, ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තා ගෙන් ඉල්ලා සිටියාය.

පාතිමා යාච්ඤාව
“අහෝ මාගේ ජේසුනි, අපගේ පාප වලට ක්‍ෂමාව දුන මැනව; නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද, විශේෂ කොට ඔබගේ දයාව ඉතා වුවමනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව.”

1569 දී ශුද්ධ වු පස්වන පියුස් පාප්තුමා විසින් නිල වශයෙන් අභිරහස් 15 ක් පිහිටුවන ලදී.
2002 දී ශුද්ධ වු දෙවන ජෝන් පෝල් පාප්තුමා තව අභිරහස් පහක් එකතු කරන ලදී. එම නිසා හැකි නම් අභිරහස් 20 ම හෝ ඊට වැඩිය මෙනෙහි කරන්න. 

ඔබ ජපමාලය කියන විට ඔබට මරියතුමියගේ ජේසුගේ හඬ ඇසෙන දවසට ඔබට මඟ පෙන්වීම ලැබේ. ඔබේ කොච්චර දුර්වලකම් තිබුණත් කවදාවත් ජපමාලය කියන එක නවත්වන්න එපා. ඔබේ දුර්වලකම් දිනෙන් දින අඩු වේවි. 

එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය. මන්ද, “මා නුඹ පත් කෙළේ හුදෙක් නුඹ කරණකොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලොව පුරා ප්‍රකාශ කරන පිණිස ය”යි ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත. මෙසේ සිය කැමැත්ත අනුව උන් වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක; ඇත්මෙකුගේ සිත් දැඩි කරන සේක.
( රෝම 9:16‭-‬18 )

ශුද්ධ වූ ජපමාලය තුළින් ආත්ම ගැලවීම පොත 

ශු. ජපමාලය තුළින් ආත්ම ගැලවීම පොත නොමිලේ බාගත හැකි සබැඳිය මෙහි සඳහන් ය.

දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩ නැගීමට සඳහා ඔබගේ වටිනා කාලය වැය කිරීමට ඔබ කැමතිද? ජපමාලය යනු ස්වර්ගයෙන් ලද බලසම්පන්න ආයුධයකි. නිතර ජපමාලය උච්චාරණය කිරීමෙන් නිධානයක් බඳුවු සම්පත් නිතර ලැබෙන්නට පටන්ගනියි. එය ජපමාලය නිතරම උච්චාරණය කරන්නන්ගේ සාක්ෂියයි. ජපමාලය තුලින් අඩපණ වන්නේ සාතත්ගේ බලවේගයයි. ජපමාලය ඔබේ ජීවිතය ආලෝකයේ මාර්ගයට යොමුකරනවා !

ශු. ජපමාල භක්තිය ඉතා සීග්‍රයෙන් පිරිහීගෙන යන මෙවන් යුගයක එහි වටිනාකම දේව ජනතාවට පහදා දීම අපගේ අරමුණයි. දේව මාතාවන් විසින් අවුරුදු 800 කට පමණ පෙර ශුද්ධවූ දොමිනික් ගුස්මාන් පියතුමාට පැවසූ ලෙස දිනපතා ශු. ජපමාලය භක්තියෙන් උච්චාරණය කළහොත් ඔබ මියගිය පසු ඔබේ ආත්මය නිරයෙන් සහ ශුද්ධිගිනිස්ථානයෙන් බේරාගෙන කෙළින්ම ස්වර්ගරාජ්‍යයට ගෙනයන බවට ස්ථීර පොරොන්දුවක් දී ඇත. අද කතෝලික සභාවේ උච්චාරණය කරනු ලබන යාච්ඤා දහස් ගණන අතුරින් කිසිම යාච්ඤාවක් හෝ ප්‍රාර්ථනාවක් සඳහා මෙවැනි පොරොන්දුවක් දේවමාතාවන් වහන්සේ විසින් දී නොමැත.

මෙම පොරොන්දුව ඔබට නැවත මතක් කර ඔබේ ආත්ම ගැලවීමට එම පොරොන්දුව ප්‍රයෝජනයට ගන්නා ලෙස අපි ඔබට ඉතා ආදරයෙන් ඇරයුම් කරමු. 

... එහෙත් අවාසනාවකට මෙන් ටෙලිනාට්‍ය නැරඹීමට පැය ගණනක් වුවත් වෙන් කිරීමට බොහෝදෙනාට කාලවේලා ඇත. එක් දිනෙක දිරාගොස් පස් බවට පත්වන තම ශරීරය ලෙඩරෝග වලින් රැක ගැනීමට පැය 1/2 ක් ව්‍යායාම්වල යෙදෙන බොහෝදෙනා සදාකාලයටම නොමැරී ජීවත්වන තම ආත්මය රැකගැනීමට විනාඩි 45 ක් වෙන් කිරීමට කාලවේලා සොයා ගැනීමට මහන්සි නොවේ. ඔබේ ආත්මය නිරයෙන් ගවා ගැනීමේ සම්පූර්ණ බලය ඔබ සතුව ඇත. එය වෙනත් අයෙකුට බලෙන් කළ නොහැකිය.

දේව මාතාවන් විසින් දෙන ලද 12 වැනි පොරොන්දුව නම් ශු. ජපමාලය ව්‍යාප්ත කරන අය තමන්ගෙන් ඉල්ලන සියලූම වරප්‍රසාද ලබාදෙන බවයි. මෙම පොරොන්දුව මැතිවරණ කාලවලදී දේශපාලන නායකයින් මහජනතාවට දෙනු ලබන බොරු පොරොන්දු මෙන් නොවන බව සිහියේ තබාගන්න. 

"මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි. ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ, අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති, ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය. දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න." (2 තිමෝති 3:1‭-‬5)

අවසාන කාලයේ පෙර ලකුණු සිදුවෙමින් පවතී... 

3. පාපොච්චාරණය 

මසකට වරක් වත් හොද පාපොච්චාරණය කරන්න.

දිනපතා ඔබ කළ වැරදි වලට මනස්තාපනය වන්න. ඔබ ඔබේ කාමරය දිනපතා පිරිසුදු කරනවා නම් එලෙසම ඔබේ ආත්මය පිරිසිදු කරගත යුතුය.

ඔබ උපන් දා සිට මෙතෙක් අය කළ ඇති සියලු පව් පියතුමෙක් ට කියන්න. මරණීය පාප මගින් ඔබයි දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධතාවයට බාධාවකි. ජේසු පියතුමන්ලාට පව් සමා කිරීමේ බලය දී ඇත. මා බොහෝ විට මාව නොදන්නා පියතුමෙක් ලඟට ගොස් මාගේ සියලු පාපයන් කියා ඔවුන් දෙන උපදෙස් පිළිපදින්න උත්සහ කරනවා. 

"අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්, සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය." (1 කොරින්ති 6:9‭-‬10)

4. දයාවේ ක්‍රියා, උපවාසය හා වෙනත් දෑ


දයාවේ ක්‍රියා කරන්න සහ හැකි පමණින් නිරාහාර ශීලය රකින්න. සුළු පව් හා විශේෂයෙන් මරණීය පව් නොකරන්න උත්සහ කරන්න. ශුද්ධාත්මයාණන් වහන්සේට මරිය තුමිය මෙන් සැමවිට නතු වී සිටින්න.

මරිය තුමී දේවදූතයාට පිළිතුරු දෙමින්, “බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. ( ලූක් 1:38 )

මතක තබාගත යුතු කරුණු ... සොවර්ගයේ සම්පත් රැස්කිරීමට කැමති නම් රහසින් යාච්ඤාව, මර්දන ක්‍රියා හා දයාවේ ක්‍රියා සෑම විට උත්සහ කරන්න.

 ජේසුස් වහන්සේ, “මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද? නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද? මෙ‍සේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”
(ලූක් 11:9‭-‬13)

“මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය. “එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”
  
“ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක." (මතෙව් 6:1‭-‬6)

 ජේසුස් වහන්සේ, “ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත. එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.” 
 
“මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති. එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති. ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.” ( මතෙව් 6:16‭-‬21)

ශාරීරික පුණ්‍ය ක‍්‍රියා
  • සාගිනි වුවනට ආහාර දීම
  • පිපාසා වුවනට පානය දීම
  • වස්ත‍්‍ර නොමැති අයට වස්ත‍්‍ර දීම
  • ආගන්තුකයනට නවාතැන් දීම
  • රෝගීන්ගේ ලෙඩ දුක් බැලීම
  • වහලුන් නිදහස් කිරීම
  • මළවුන් වැළලීම 

ආත්මික පුණ්‍ය ක්‍රියා
  • පව් කරුවන් පාපයෙන් හරවා ගැනීම
  • අඥානයනට ඉගැන්වීම
  • සැක ඇති අයට දැනුමැතිකම් දීම
  • නින්දා අපහාස ඉවසීමෙන් දරා ගැනීම
  • වැරදි කමා කිරීම
  • ජීවතුන් සහ මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරිම

“ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.” ( මතෙව් 6:24‭ )

"එහෙත්, පළමු කොට උන් වහන්සේගේ (දෙවියන් වහන්සේගේ) රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.” ( මතෙව් 6: ‬33‭-‬34 )

“එවිට උන් වහන්සේ (දෙවියන් වහන්සේ) වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න. මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ’යි වදාරන සේක. එවිට ඔවුන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ සාගිනි ව හෝ පිපාසා වී හෝ ආගන්තුක ව හෝ වස්ත්‍ර නැති ව හෝ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකෙළෙමු දැ’යි අසනු ඇත. එවිට උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබැවින් ම මම ඔබට කියමි, මොවුන්ගෙන් ඉතා ම සුළු තැනැත්තාට වුව ද එසේ නොකළා නම් එය නොකෙළේ මට ය’යි වදාරන සේක. මොවුහු සදාතන දඬුවමට ද, දැහැමියෝ සදාතන ජීවනයට ද යන්නෝ ය.” ( මතෙව් 25:41‭-‬46 )

5. දේව වචනය

දිනපතා දේව වචනය කියවන්න.

"දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය. උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය." (හෙබ්‍රෙව් 4:12‭-‬13)

6. දයාවේ හෝරාව

දිනපතා සවස 3ට දයාවේ හෝරාව කරන්න.

ජේසු, "සවස 3.00 ට විශේෂයෙන් පව්කරුවන් වෙනුවෙන් මගේ දයාව අයැදින්න. මගේ දුක්ප්‍රාප්තියෙහි විශේෂාකාරයෙන් මා අත්හැර දමනු ලැබූ දුක් සාගරයෙහි ගිලෙන්න. එය මුළු ලෝකයටම දයාවේ උතුම් පැය වන්නේය. මගේ මරණීය වේදනාවට ඇතුඵ වන්නට මම ඔබට ඉඩ හරිමි. එම පැයේදී මගෙන් ඉල්ලන දෙයක් දෙවියන් වහන්සේගේ අභිමතයට එකඟ වන්නේ නම් මම එය ප්‍රතික්ෂේප නොකරමි." ( ශුද්ධ වූ පවුස්තිනා තුමියගේ දින පොතෙන් )

සවස තුනට කරන යැදුම කියන්න. ජේසුස් වහන්සේ පස් වරු 3 ට පාද නමස්කාරය කරන්නට ශු. පවුස්තිනා තුමියට උපදෙස් දී තිබේ. වෙලා නැතිනම් දයාවේ මල්දම කරන්න. එසේත් නැතිනම් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියෙහි සුළු මොහොතකට ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන මෙනෙහි කරන්න. දේව දයාව පොතේ අවශ්‍ය සියලු දේ ඇත.

ශුද්ධ වූ පවුස්තිනා තුමියට ජේසු පැවසු වචන මෙසේ ඇය වාර්තා කළාය. "විනිශ්චය දිනයට පෙර දයාවේ දිනය අද ය. ජේසුගේ දෙවැනි පැමිණීමට සුදානම් වෙන්න" දෙවි පියාණන් වහන්සෙගේ අසීමිත ආදරය පොත කියවන්න. ඔබට කලය නැතිනම් "පණිවුඩයේ හදිසි අවශ්‍යතාව" පමණක් කියන්න [පිටු අංක 42 සිට 44 දක්වා]

7. ශුද්ධ වූ පැය

සෑම බ්‍රහස්පතින්දා දිනයකම රාත්‍රී 11 හේ සිට ශුද්ධ වූ පැය කරන්න.

ශු. මර්ගරිතා මරියතුමියට ජේසු දර්ශනය වී ශු. පැය සෑම බ්‍රහස්පතින්දා දිනයකම රාත්‍රී 11 හේ සිට ජේසුගේ දිව්‍ය හෘදය සැනසීම දෙනු පිණිස කරන්න ඉල්ලා සිටී. 

8. ජේසුගේ දිව්‍ය හර්දයට භක්ති අභ්‍යාසය

මාසයේ පළවෙනි සිකුරාදා ජේසුගේ දිව්‍ය හර්දයට භක්ති අභ්‍යාසය කරන්න. 
ඔබට ස්වර්ගයට යෑමට සහතික මඟක්. 

ජේසුගේ දිව්‍ය හෘදයට ගෞරවය කරන අය සඳහා ජේසු සමිදාණන් ශුද්ධ වූ මර්ගරිතාතුමිය මගින් දී ඇති පොරොන්දු 12 මෙහි සඳහන් වේ.

  1. ඔවුන්ගේ තත්ත්ව වලට ඕනෑ සියලු වරප්‍රසාද දෙන්නෙමි.
  2. ඔවුන්ගේ පවුල් වලට සමාදානය සලස්වා දෙන්නෙමි.
  3. ඔවුන්ගේ සියලු දුක් කණගාටුවල දී ඔවුන් සනසන්නෙමි.
  4. ඔවුන්ගේ ජීවිතකාලයේ දී ප්‍රධානකොට මරණාසන්නයේ දී ඔවුන්ට රක්ෂස්ථානයක්‌ වෙන්නෙමි.
  5. ඔවුන්ගේ සියලු උත්සාහ වලට මාගේ ආශිර්වාද වස්වා දෙන්නෙමි.
  6. මාගේ හෘදය තුළ පව්කාරයන්ට දයාබරකමේ උල්පත හා සාගරයක් ද සම්බ වෙන්නේය. 
  7. ඇල්මැරුණ ගති වූ ආත්මයෝ භක්තිජ්වලිත වන්නෝය.
  8. භක්තිජ්වලිත ආත්මයෝ කඩිනමින් උතුම් ධර්ම ගුණ සම්පූර්ණකමට පැමිණෙන්නේය.
  9. මාගේ දිව්‍ය හෘදයේ ප්‍රතිමාව ප්‍රත්‍යක්ෂ ලෙස තබා ඊට ගෞරවාචාර කරන සෑම ගෙවලට ආශිර්වාද දෙන්නෙමි. 
  10. ඉතා දැඩිව සිටින පව්කාරයන්ගේ හෘදයන් මෘදුකරන්ට පූජාප්‍රසාදිවරුන්ට වරම් දෙන්නෙමි.
  11. මාගේ භක්තිය පතළ කරන්නන්ගේ නාම මාගේ දිව්‍ය හෘදයෙහි සඳහන් කරනු ලැබ ඒවා කවදාවත් මකනු නොලබන්නේය.
  12. නව මාසයක් පළමු සිකුරාදා දිනවල කඩ නැතුව දිව්‍ය සත්ප්‍රසාදය ලබන සියල්ලන්ට අන්තිම දක්වා පැවතුමත්, මාගේ දයාව සහ ප්‍රසාද නිධාන නැතුව නොනැසීමත්, අන්තිම පැයේ දී මම ඔවුන්ට ස්ථිර රක්ෂාස්ථානයක්‌ ව සිටීමටත්, මාගේ හෘදයෙහි කරුණාවේ අධික වේගයෙන් ද සර්වවල්ලභ ප්‍රේමයෙන් ද දෙවා වදාරන්නට පොරොන්දු වෙමි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ශු. මර්ගරිතා මරියතුමිය දර්ශනය වී ලබා දුන් පොරොන්දු 12 අත්දැකීම සඳහාත්, අපගේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීම සඳහාත්, මරණින් මතු ස්වර්ගීය ප්‍රදානය අත්කර ගැනීම සඳහාත් උපයෝගි කර ගැනීමට අපි උත්සුක වෙමු. අපේ පවුල් ජීවිතයට සාමය හා සමාදානය උදා කර ගැනීමට දිව්‍ය හෘදය භක්තිය බැති සිතින් ප්‍රගුණ කරමු. 

ජේසුගේ දිව්‍ය හෘදයට වන්දි ගෙවන්න ඔබ සූදානම් ද?

මෙම කරුණු 2 අනිවාරයෙන් සම්පූර්ණ විය යුතුය. 1) පාපොච්චාරණය කර (අප ආත්මයන් මරණීය පාපයෙන් නිදොස්ව තිබිය යුතුයි) 2) සත්ප්‍රසාදය වහන්සේ මසයයේ පළමු වැනි සෙනසුරාදා නොකඩවා මාස 9 ක් ලබා (ජේසුගේ දිව්‍ය හෘදයට වන්දි ගෙවීම පිණිස ඔප්පු කරන්න)

9. දේවමාතාවන්ගේ නිර්මල හර්දයට භක්ති අභ්‍යාසය 

මාසයේ පළවෙනි සෙනසුරාදා දේවමාතාවන්ගේ නිර්මල හර්දයට භක්ති අභ්‍යාසය කරන්න.
මරණයට පෙර ගැලවීමට අවශ්‍යය වරප්‍රසාදය ලබා ගත හැකි මඟක්. 

1917 දී පාතිමාවේ අප සුවාමි වූ ලුසීට පැවසූ පරිදි, "... මාගේ නිර්මල හෘදය කෙරෙහි භක්තිය ලොව පැතිර යාම උන්වහන්සේගේ (ජේසු සමිඳාණන්ගේ) ආශාව වේ. මේ භක්තිය වැළඳ ගන්නවූනට මම ගැලවීම පොරොන්දු වෙමි. මා විසින් දේව සිංහාසනය ඉදිරියෙහි තබන ලද පුෂ්පයනට මෙන් දෙවියන් වහන්සේ ඔවුනට විශේෂ අකාරයකින් ප්‍රේම කරන සේක" යි වදාළ සේක.

මාස 5 ක් නොකඩවා මසයයේ පළමු වැනි සෙනසුරාදා දේව මාතාවන්ගේ නිර්මල හෘදයට සැනසීම දීමේ, ගෞරවය කිරීමේ හා වන්දි ගෙවීමේ අදහසින් කරන්න. 
 'දේව මාතාවන්ගේ නිර්මල හර්දයට ගෞරවය කිරීම සඳහා නිරන්තර භක්කි නුවානය' පොතේ වැඩි විස්තර ඇත.

1) දින 8 කට පෙර [හෝ පසු] පාපොච්චාරණය කර (අප ආත්මයන් මරණීය පාපයෙන් නිදොස්ව තිබිය යුතුයි); 2) ශුද්ධ වූ සත්ප්‍රසාදය වහන්සේ මසයයේ පළමු වැනි සෙනසුරාදා ලබා (මරියතුමියගේ නිර්මල හෘදයට වන්දි ගෙවීමේ පිණිස ඔප්පු කරන්න) ; 3) එදිනම අභිරහස් 5 ක් මෙනෙහි කරමින් ශු. ජපමාලය යාච්ඤා කර; විනාඩි 15 අභිරහස් මෙනෙහි කරන්න.

10. අභිරහස්මය රෝස කුසුමේ භක්ති අභ්‍යාසය 

 සෑම මාසයේම 13 වන දා සහ දෙසැම්බර් 8 වන දිනත් දේව මාතාවගේ ඉල්ලීම 

මරිය තුමිය මෙසේ පැවසීය, "ලෝකය විනාශය කරා ඇදී යයි. දෙව් පියාණන් යාච්ඥාව, පරිත්‍යාගය, පශ්චාත්තාපය ලෝ වැසියන් ගෙන් ඉල්ලයි. ජපමාලය ඔප්පු කරන්න. එවිට මගෙන් ඔබලාට මහඟු වරප්‍රසාද ලැබේවි. සෑම මාසයේම 13 වන දා සහ දෙසැම්බර් 8 වන දිනත් දවල් 12 සිට 1 අතර අභිරහස් 15 මෙනෙහි කරමින් ජපමාලය පන්ති 15 ඔප්පු කරන්න. එදිනම දිව්‍ය පූජාවට සහභාගී වී ජේසුව ලබා පව් කරුවන්ගේ සිත් හැරීම උදෙසා ඔප්පු කරන්න. සියලු අත්‍යවශ්‍ය විස්තර අභිරහස්මය රෝස කුසුමේ දේව මාතාවෝ පොතෙහි අඩංගුය.

11. පුදුම පදක්කම  

පුදුම පදක්කම ගෙල වටා පැලඳ ගැනීම 

1830 නොවැම්බර් 30 වන දින දේවමාතාවන් ශු. කැතරින් ලැබොරේ තුමියට මෙසේ පැවසීය, ‘‘මෙම පදක්කම පැළඳලන්න. මෙය පළදින අයට විශේෂ වරප‍්‍රසාද ලැබෙනු ඇත. විශ්වාසයෙන් පළදින අයට ඊටත් වඩා වරප‍්‍රසාද බහුලව ලැබෙනු ඇත."

12. කාර්මෙල් බෙන්තින්ඤය

කාර්මෙල් බෙන්තින්ඤය ගෙල වටා පැලඳ ගැනීම 

මරියෝත්තමාව 1251 ජූලි මස 16 වන දින එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර කාර්මෙල් තාපසාරාමයේ ශ්‍රේෂ්ඨයාව සිටි සයිමන් ස්ටොක් මුනිදුන්ට දර්ශනය වී “ මාගේ පුත්‍රය, මාගේ මාතෘකා ප්‍රේමයේ ද, ආරක්ෂාවේ ද සලකුණක් ලෙස මෙම සළු ධාතුව බාර ගන්න.... යමෙක් මෙම සළු ධාතුව පැළඳ නසින්නේද ඒ තැනැත්තා කිසි දිනෙක නිරා ගින්නට අසු නොවන්නේය. ඔබටද, මාගේ කාර්මෙල් සොයුරන්ට ද දෙනු ලබන මාගේ මාතෘකා ප්‍රේමයේ සලකුණක් වන්නේය...” මෙලෙස වදාර සයිමන් ස්ටොක් මුනිඳුන්ට ශ්‍රී සළු ධාතුව භාර දී එදා සිටම අද දක්වා ඕ තුමිය ගණන් නැති ප්‍රාතිහාර්ය සිදු කරනු ලබන්නීය. 

දේව මාතාවන් ශු. දොමිනික් තුමා හට මෙසේ පැවසීය, 
" දිනෙකදි ජපමාලය හා කාර්මෙල් බෙන්තින්ඤය මගින් ලෝකය මම ගළවා ගන්නෙමි" 

 

"ඔබට දෙවිඳුන් හට කල හැකි උතුම්ම සේවාව නම් ආත්මයන් උන්වහන්සේ වෙතට දිනා දීමයි." 
 - ශු. ලීමා හී රෝස් මුණිවරිය -


"සවන් ඇත්තෝ සවන් දෙත් වා!" ( මතෙව් 11:15 )

ඔබේ යහලුවන් දැනුවත් කිරීම ජේසු ඔබට පැවරූ වගකීමයි. ජේසු පිහිටයි.

වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 
Online MOG Center : 0777235643 
[ Whatsapp ( හරහා වඩාත් පහසුය ) / Telegram / Viber / IMO / සාමාන්‍ය ඇමතුම් / SMS ]

Post a Comment

0 Comments

දේව දයාවේ මංගල්‍යය ( අප්‍රේල් 7, 2024 )